About the Coach

 Prarthana De Mel

ප්‍රාර්ථනා මධුවන්ති ද මෙල්
BA (kln), M.Sc. (PGIA)
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)
සරසවි මිතුරෝ


2015 වසරේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජවිද්‍යාව (sociology) පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සහිතව ලබා ගත් ඇය මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයේ සංවිධාන චර්යාව (organizational Behavior) පිළිබඳ විද්‍යාපති (M.Sc.) උපාධිය හදාරමින් සිටී. 

සිය ශාස්ර්‍තවේදී උපාධිය සඳහා අන්තර්පුද්ගල සබඳතා පිළිබඳ මනෝවිද්‍යාව, නායකත්වය පිළිබඳ මනෝවිද්‍යාවනව සහ බෞද්ධ දර්ශනය යන විෂයන් ද හදාරා ඇත. බුදු දහම පිළිබඳ දැඩි ඇල්මක් දක්වන්නියක් ලෙස දහම් පාසල් අවසාන විභාගය සහ ධර්මාචාර්ය විභාගය සියළු විෂයන් ඉහළ සාමාර්ථයන් සහිතව සමත් වූවා ය. දැනුම සොයා යාම සඳහා ඇය තුළ වූ සහජ උනන්දුව සහ දක්ෂතාවය නිසාම මාර්ගත ලෙස නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයෙන් ගුණාත්මක පර්යේෂණය (qualitative research) පිළිබඳ සහතිකපත් පාඨමාලාව ද මානව හිමිකම් පිළිබඳ ආසියානු ආයතනය මඟින් පිරිනමන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළබඳ මූලධර්ම (Fundamentals of Gender) පාඨමාලාව ද සම්පූර්ණ කළ අතර මේවන විට ජීවිත පුහුණු කිරීම (Life Coaching) පිළිබඳ බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ යෝග්‍යතාව පිළිබඳ ඇකඩමියේ (Academy of Health and Fitness) පාඨමාලාව හදාරා තරුන තරුණියන් උදෙසා ඉගෙනීම සඳහා අත්වැලක් සපයමින් ජීවන පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරයි.

කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ද කථික සහ විවාද සංගමය, මාධ්‍ය ඒකකය ඇතුළු සිසු සංගම් රැසක නායකත්ව තනතුරු ද හොබවා ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දහම් පාසලක් වන පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ද සිය නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට ඇයට හැකියාව ලැබිණි. එසේම පාසල් අවධිය තුළ පාසලෙන් සහ දහම් පාසලෙන් ලද පුහුණුව හා අධ්‍යාපනය තුළින් සිය මානව අගනාකම් මෙන්ම සන්නිවේදන කුසලතාවන් ද ප්‍රගුණ කර ගත්තා ය.

2009 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු ස්වේඡාදායිකාවක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ, ජනාධිපති සමාජ සංවර්ධන අධ්‍යක්ෂ කාර්යාලයේ ව්‍යාපෘති සහකාරවරියක් සහ සම්පත්දායිකාවක් වශයෙන් කටයුතු කළ අතර අද වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වවුනියාව විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, සරසවි මිතුරෝ සංවිධානය, ජාතික අධ්‍යාපන ආයතනය, තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය, ආසියානු අපරාධ නිවාරන පදනම සහ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ආදී රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රැසක් සඳහා සිය සේවය ලබා දී ඇති අතර තවමත් එම ආයතන සමඟ කටයුතු කරයි.

ජනාධිපති කාර්යාලයේ, ජනාධිපති සමාජ සංවර්ධන අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ගැටුම් පැවති සහ දුෂ්කර ප්‍රදේශයන්හි පාසල් සිසු සිසුවියන් සඳහා මෙහෙය වූ නැණ ගුණ වැඩුම: සිසු දිරිය ජාතික වැඩසටහනෙහි ව්‍යාපෘති සහකාරවරියක්, පුහුණුකාරිනියක්, සම්පත්දායිකාවක් සහ ආකල්ප ප්‍රතිශෝධන නියෝජිතවරියක් වශයෙන් දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ නායකත්ව සංවර්ධන වැඩසටහන්, සහජීවන වැඩසටහන් සහ සිසු කුසලතා සංවර්ධන වැඩසටහන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සඳහා සිය සේවය ලබා දෙමින් උතුරු-නැගනෙහිර ප්‍රදේශයන්හි සහ දිවයිනේ දුෂ්කර ප්‍රදේශ රැසක සේවය කළා ය. පාසල් අවධියේ පටන් ඉතා ක්‍රියාකාරීව සමාජ ක්‍රියාකාරකම්හි නිරත වෙමින් අද වන විට ඇය ශ්‍රී ලංකාවේ සෑම පළාතකම සිංහල, දමිළ සහ මුස්ලිම් පාසල් සිසු සිසුවියන්, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ තරුණ තරුණියන් දහස් ගණනකගේ ආදරය දිනාගත් පුහුණුකාරිණියක් සහ උපදේශිකාවක් ලෙස සිය සේවය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නී ය. 

සිය ශාස්ත්‍රවේදී උපාධියෙන් පසු සරසවි මිතුරෝ සංවිධානය සමඟ පර්යේෂණ නිලධාරිණියක් වශයෙන් ද 2017 සිට 2019 වර්ෂය දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්‍යාප්ති අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් වශයෙන් ද 2020 වසර දක්වා එම අධ්‍යන අංශයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන හා කාන්තා ප්‍රවර්ධන ඒකකයේ පාඨමාලා සම්බන්ධීකාරකවරිය වශයෙන් ද කටයුතු කළා ය. බාහිර කථිකාචාර්යවරියක් ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු වූ අතර මේ වන විට වවුනියාව විශ්වවිද්‍යාලයේ සහජීවන මධ්‍යස්ථානයේ පර්යේෂණ උපදේශකවරියක් ලෙස සිය සේවය ලබා දෙයි. තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ ‘අනාගතයට සූදානම් නායකත්ව වැඩසටහන’ නිර්මාණය කිරීමේ බාහිර උපදේශිකාව ලෙස කටයුතු කරමින් විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සඳහා නායකත්ව පුහුණු ලබා දීමට සමපත්දායිකාවක් වශයෙන් ද කටයුතු කළා ය. ජාතික අධ්‍යාපන ආයතනයේ සමාජ ඒකාබද්ධතාව පිළිබඳ බාහිර උපදේශිකාවක් ලෙස ද ආසියානු අපරාධ නිවාරන පදනමේ සයිබර් අපරාධ නිවාරණය පිළිබඳ ක්‍රියාකාරිනියක් වශයෙන් ද ඇය ක්‍රියා කරයි.

පුද්ගල සංවර්ධනය සහ නායකත්වය, සමාජ ඒකාබද්ධතාවය සහ සංහිඳියාව, සයිබර් අපරාධ නිවාරනය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ කාන්තා බලගැන්වීම, ඉගෙනුම් උපක්‍රම සහ මෘදු කුසලතා සංවර්ධනය යන විෂය ක්ෂේත්‍රයන්හි පුහුණුකාරිනියක්, ක්‍රියාකාරිනියක් සහ පර්යේෂිකාවක් වශයෙන් ඇය කැපවෙමින් සිටින්නී ය. කොරෝනා වසංගත කාලය තුළ සරසවි සහස්‍ර මිතුරෝ නමින් ඩිජිටල් අවකාශක් සරසවි මිතුරෝ සංවිධානය හා එක්ව විශ්වවිද්‍යාල සහ පාසල් සිසු සිසුවියන් සඳහා නිර්මාණය කරමින් ඔවුන්ගේ පුද්ගල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන්ගේ සම්පත්දායකත්වය ලබා ගනිමින් වැඩසටහන් රාශියක් පැවැත්වූ අතර මේ වන විටත් එහි විවිධ වැඩසටහන් මාර්ගගතව ක්‍රියාත්මක වෙයි. එසේම පාසල් අවධියෙන් පසු වසර 7කටත් අධික කාලයක් දහම්පාසල් ගුරුවරියක් වශයෙන් කටයුතු කරමින් බුදු දහම තුළින් ජීවිත සංවර්ධනය සඳහා නව ඉගෙනුම් ඉගැන්වීම් විධික්‍රමයන් අත්හදාබලමින් තරුණ සිසු සිසුවියන් නව ඉගෙනුම් මානයන් වෙත යොමු කළා ය. තව ද කෙරෝනා වසංගත කාලය තුළ සරසවි සහස්‍ර මිතුරු දහම් පාසල ආරම්භ කර දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් උදෙසා දහම් අධ්‍යාපනය නව ඉගෙනුම් ක්‍රමවේදයන් ඔස්සේ ලබා දුන්නා ය. පාසල් සිසු සිසුවියන් සඳහා ඔවුන්ගේ ඉගෙනීම සහ පුද්ගල සංවර්ධනය ඉලක්ක කොට ගනිමින් Be Smart නමින් මාර්ගගත වැඩසටහන් සෑම මසකම නොමිලේ පවත්වයි.

එසේම පාසල් සහ විශ්වවිද්‍යාලයන්හි පුද්ගල සංවර්ධන සහ නායකත්ව පුහුණු වැඩසටහන් මෙහෙයවන අතර රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් සඳහා ද වැඩසටහන් පවත්වයි.