ඇබ්බැහිකම් අතහැරීම

 

"මිනිසා යනු ඔහු විශ්වාස කරන දේ ය"
රුසියානු ජාතික නාට්‍ය සහ නවකථා රචක ඇන්ටන් චෙකොව් (1860-1904)

ඇබ්බැහිකම් අතහැරීම


ප්‍රාර්ථනා ද මෙල්
Youth Coach
සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු), සරසවි මිතුරෝ

අපි හැම දෙනෙක්ම ජීවිතයේ විවිධ පුරුදුවලට සහ සිතිවිලිවලට ඇබ්බැහිවෙනවා. යමකට අනවශ්‍ය ලෙස ඇබ්බැහිවීම තුළින් අපගේ මනස තුළ වැඩසටහනක් නිර්මාණය වෙනවා එම පුරුද්ද නැවත නැවත කිරීමට. හරියට මනස තුළ වෛරසයක් නිර්මාණය වුණා වගේ. ඕනෑම වැදගත් කාර්යයක් කරන විට මනස අර ඇබ්බැහිවූ පුරුද්ද වෙත ගමන් කරනවා. එය සිදු කිරීම ගැටළුවක් නෑ, තව එක පාරක් කරමු වැනි වදන්වලින් ඔබව පොළඹවනවා. මෙය ඇබ්බැහි වූ මනසේ ස්වභාවයයි. තම මනසේ ශක්තීන් ඇබ්බැහි වූ පුරුද්දක් වෙත ගිය විට දවසේ වැදගත් කාර්යයන් කිරීමට ඇති ශක්තීන් පිරිහෙනවා.

පාඩම් කරන කෙනෙක් නම් නිතර නිදිමත වීම, ඇබ්බැහි වූ පුරුද්ද තුළ ගිලී සිටීම, දවසේ කාලය නිකරුණේ ගත වීම, කම්මැලිකම නිතර නිතර දැනීම, මනස වියවුල් වීම, කළ යුතු කටයුතු සිදු කිරීමට නොහැකි වූ නිසා ඇතිවන පසු තැවීම, තනිව සිටීමට කැමැත්ක් දැක්වීම, නිතර තරහා යාම, ආහාර රුචිය නොමැති වීම, නින්ද නොයෑම හෝ අවේලාවේ නිදා ගැනීම, ආදී බොහෝ සෘණාත්මක දේ ඇබ්බැහිකම නිසා අපේ ජීවිත ගිල ගන්නවා. 

මීට වසර කිහිපයකට පෙර චීන විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකුගේ සහ පරිගණකයට ඇබ්බැහි වූවෙකුගේ මොළේ රසායන සංයුතීන් සමාන බවයි. ඕනෑම පුරුද්දක් වෙත ඇබ්බැහිවීම අපගේ මානසික මෙන්ම ශාරීරික සංයුතීන්ද වෙනස් කරනවා. මේ නිසා ඇබ්බැහිවීම් වළක්වා ගැනීමට අපි සිහි කල්පනාවෙන් සිටිය යුතුයි.

මේ කතාව කියවන්න.

මෙය බුදුන් වහන්සේගේ කාලයේ සිදුවූ සිද්ධියක්. එක් හිඟන්නෙක් පැවිදි වෙනවා. කොයිතරම් දාන ලැබුණත්, ගරු බුහුමන් ලැබුණත්, සිවුරු පිරිකර ලැබුණත් මේ ස්වාමීන්වහන්සේගේ සිත කියන්නේම හිඟන්නෙක් වෙලා හිටියා නම් හොඳයි කියලා. ගිඟන ජීවිතයට තිබූ පුරුද්ද ඇබ්බැහිකම මේ හාමුදුරුවන්ට වද දෙනවා. පැවිදිවීමට එන්න කලින් තමන්ගේ හිඟන ඇඳුම් සහ බෙලෙක් පිඟාන සහ කෝප්පය කැලෑවේ ගස් බෙනයක සඟවලා ආවේ. 

දැන් මේ හාමුදුරුවෝ කැලෑවට ගියා අර ගස් බෙනේ හොයාගෙන. හිඟන ඇඳුම් ටික එළියට ගත්තා. අරගෙන ඒ ඇඳුම් දිහා බලාගෙන තමන්ටම බනින්න ගත්තා. හිඟනකමට වඩා උතුම් පැවැද්ද අතහරින්න කියන හිත කොයිතරම් දුර්ජනයිද කියලා බනින්න ගත්තා. ආපහු මේ ඇඳුම්ටික ගස් බෙනේ සඟවලා කැලෑවේ ගසක් මුල වාඩි වෙලා භාවනා කරන්න ගත්තා. පස්සේ ආපහු ආරාමයට වැඩියා. මේ විදිහට දිනපතාම කරන්න ගත්තා. තමන්ට එන වැදරි සිතුවිල්ල කොයිතරම් වැරදිද පහත්ද කියලා තමන්ටම අවබෝධවෙනකන් බනින්න ගත්තා. පස්සේ භාවනා කරනවා. 

කැලෑවට ගිහින් හැමදාම එන මේ හාමුදුරුවෝ ගැන තවත් හාමුදුරුවරුවගයක් සැක කරන්න ගත්තා. මේ ගැන ගිහින් බුදුහාමුදුරුවන්ට කිව්වා. බුදුන් උනවහන්සේ කරුණු පැහැදිල කරන විටත් අර හිඟන්නෙක්ව සිට පැවිදි වූ හිමිනම රහත් වෙලා හිටියේ.

බලන්න තමන්ගේ ඇබ්බැහිවූ සිතුවිලිවලින් මිදෙන්න මේ හාමුදුරුවෝ යොදා ගත් උපක්‍රමය කොයිතරම් අපූරුද? 

දුරකතනයට ඇබ්බැහිවීම

මේ කාලයේ ළමුන් මෙන්ම වැඩිහිටියන් ද සිය ස්මාර්ට් දුරකතනවලට ඇබ්බැහිවීම දැකිය හැකියි. අන්තර්ජාලය සහ දුරකතනය අපගේ ජීවිතවල නැතිවම බැරි කොටසක් වී හමාරයි. එහෙත් ඒවා ඵලදායී ලෙස අපගේ සාර්ථකත්වය සඳහා භාවිතා කීරීමට බුද්ධිමත් විය යුතුයි. 

ස්මාර්ට් දුරකතනයන්ට ඇබ්බැහිවූවන්ගේ ලක්ෂණ 20 ක් පහත දැක්වේ. 

1. නින්ද නොයෑම. 
2. නිතර කන්ස්සල්ලෙන් පසුවීම.
3. සමාජ මාධ්‍ය තුළ සිදුවන දේ දැන ගැනීමට නිතර ආතතියෙන් පසුවීම. 
4. නිතර දුරකතනය බැලීම. 
5. විභාග අසමත්වීම.
6. කාලය ගතවීම ගැන අවබෝධයක් නොමැතිවීම 
7. පවුල ඇතුළු සමාජ සම්බන්ධතාවන්ගෙන් දුරස් වීම.
8. කතා කරනවාට වඩා කෙටි පණිවිඩ යැවීම.
9. කිසිඳු සැලකිල්කින් තොරව දිගු වේලාවක් සමාජ මාධ්‍යවල හෝ  වෙනත් වෙබ් අඩෙවිවල උඩ පහළ යාම.
10. දුරකතනය නාද නොවූවද දුරකතනයේ කම්පනයන් හෝ නාදවීම ඇසීම.
11. වාහනය පදවනවිටත් කෙටි පණිවිඩ යැවීම.
12. නිතර කායික අපහසුතාවයන්ගෙන් පෙළීම.
13. දුරකතනය නොමැතිව කිසිඳු ස්ථානයකට යාමට නොහැකි වීම.
14. වැඩි වශයෙන් කාලය නාස්ති කිරීම.
15. දුරකතනය නොමැතිව දැඩි තනිකමක් දැනීම.
16. යහළුවන් සහ පවුලේ අය සමඟ එකට ආහාර ගන්නා විට දුරකතනය බලමින් ආහාර ගැනීම.
17. මිත්‍ර සබඳතා බිඳ වැටීම
18. ආවේගශීලී හැසිරීම
19. කෙතරම් උත්සාහ කළ ද දුරකතනයෙන් ඈත් වීමට නොහැකි වීම.
20. ආහාර රුචිය වෙනස් වීම.

ඇබ්බැහිකමෙන් මිදෙන්න ක්‍රමයක්

විවිධ ඇබ්බැහිවීම්වලින් මිදෙන්න විවිධ ක්‍රම තිබෙනවා. මෙහි සඳහන් වන්නේ එක් ක්‍රමයක් පමණයි. නමුත් මෙහි පළමු පියවර සෑම ක්‍රමයකට පොදුයි.

ඇබ්බැහිකමකින් මිදීමට නම් පළමුව තමන් එම පුරුද්දට ඇබ්බැහිවූ බව පිළිගත යුතුයි. එහි සම්පූර්ණ වගකීම ද තමන් භාර ගත යුතුයි. එයට තවත් අයෙක් හේතුවක් යැයි නොසිතිය යුතුයි. 

එසේම එම ඇබ්බැහිකම නිසා තමන්ට වී ඇති කරදරයන්, පාඩු සහ විපත් ගැන සවිස්තරාත්මකව සිතන්න. ඒ ගැන මෙනෙහි කරන්න. තමන්ගේ ඇබ්බැහිය ගැන තමන්ට ලැජ්ජාවක් ඇති වෙනවාද බලන්න. එය යළිත් සිදු කිරීමට බියක් හා ලැජ්ජාවක් තමන් තුළ ඇති කර ගන්න.

එමෙන්ම ඔබ ඇබ්බැහි වූ පුරුද්ද ගැන විශ්වාසවන්ත අයෙකුට කියන්න. නැතිනම් අජීවී දෙයකට හෝ කියන්න. ඔබේ වචනවලින් ඔබගේ ඇබ්බැහිවූ පුරුද්දට ගරහන්න. එයින් තමන්ට මිදිය හැකි බව විශ්වාසයෙන් කියන්න. ඔබ ඇබ්බැහිවීමේ අධික ස්භාවකට පත්ව සිටින්නේ නම් අනිවාර්යෙන්ම මනේඋපදේශකයෙකු හෝ මනොවෛද්‍යවරයෙකු හමුවිය යුතුයි. 

එම ඇබ්බැහිකමින් තමන්ට අනිවාර්යයෙන්ම මිදිය හැකි බව සිතන්න. ඒ බව තදින් විශ්වාස කරන්න. 

තමන්ගේ ඇබ්බැහිවීමට බලපාන දෛනික චර්යාවන් සහ උපකරණ හඳුනා ගන්න. ඒවා තමන්ගෙන් ඈත් කොට තබා ගන්න ක්‍රමෝපායන් සකස් කර ගන්න.

උදාහරණයක් ලෙස ඔබ දුරකතන භාවිතයට ඇබ්බැහිවූවෙක් නම් තමන් නිදා ගැනීමට පැයකට හෝ පැය දෙකකට පෙර සිය දුරකතනය ක්‍රියා විරහිත කොට අල්මාරියට දමා අඟුලු දමන්න හැකියි. එසේ නැතිනම් ඒ සඳහා ඔබගේ පවුලේ අයෙකුගේ සහාය ලබා ගන්න. අවදිවී සිය අත්‍යවශ්‍ය කටයුතු නිමා කර දුරකතනය යළි එළියට ගන්න ඔබට පුළුවන්. ඔබ පාඩම් කරන අයෙක් නම් පාඩම් කිරීමට දවසේ නිශ්චිත පැය කිහිපයක් යොදා ගන්න. ඒ කාලය අතර තුර දුරකතනය අල්මාරියට දමා අගුලු දමන්න. සමරහර විටෙක දුරකතනය පාඩම් කටයුතු සඳහා අත්‍යාවශ්‍ය විය හැකි. එවිට සිය අධ්‍යාපන කටයුතු සඳහා පමණක් එය භාවිත කරන්න. පාඩම් කරන කාලය නිමා වන තුරු වෙනත් අනවශ්‍ය තොරතුරු සෙවීමට හෝ සමාජමාධ්‍ය බැලීමට කිසිසේත් නොයන්න. දැන් පාඩම් කරන විට දුරකතනය ගැනිමට සිතෙනවා නම් ටිකක් එළියට ගොස් ඇවිදින්න, ගහ කොළ සමඟ කතා කරන්න. දැන් යළිත් පැමිණ පාඩම් කරන්න.

ඔබ තම ඇබ්බැහිවීමෙන් මිදෙන බව සහ එය තමන්ට කළ හැකි බව නිතර සිතන්න. කණ්ණාඩියක් අසලට ගොස් ඒ බව තමන්ටම වචනවලින් ප්‍රකාශ කරන්න. 

ඔබට මෙම සරල අභ්‍යාසය ද භාවිතා කළ හැකියි. මෙය වාග් ස්නායු ක්‍රමලේඛනයේ (Neuro Linguistic Programming) දී භාවිතා කරන ප්‍රතිව්‍යුහන අභ්‍යාස ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. 

📝 නිහඞ ස්ථානයකට යන්න. දෑස් පියා ගන්න. දිගු හුස්ම 5ක් පමණ ගන්න. දැන් ඔබගේ මනස සංසුන්.

 

📝දැන් සිහිපත් කරන්න ඔබට අත්හැරිය යුතු චර්යාව සහ ඒ නිසා ඔබට ඇති වී ඇති කරදර. එම චර්යාව ඔබව කෙතරම් පීඩාවට පත් කරනවා ද? ඒ නිසා ඔබගේ කටයුතු කෙතරම් අතපසු වෙනවාද? ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට එය කෙතරම් බාධාවක් ද? යනාදී කරුණු ගැන සිතන්න.

📝දැන් එම චර්යාව තමන් විසින් ඇති කර ගත් දෙයක් බව පිළිගන්නා අතරම එය තමන්ට වෙනස් කළ හැකි බව කල්පනා කරන්න. එම චර්යාවෙන් මිදෙන බව දැඩි ලෙස සිතන්න.

📝එම චර්යාවෙන් මිදුනු පසු ඔබ සිය එදිනෙදා කටයුතු සාර්ථකව කරන අයුරු සිහිපත් කරන්න. 

📝දැන් නැවතත් ඔබට සිය ඇබ්බැහි වූ චර්යාවෙන් මිදීමට හැකි බව සිතන්න. ඔබ එයින් මිදෙන බවට අධිෂ්ඨාන කරන්න. එය ඔබට කළ හැකි බව තරයේම සිතන්න. 

📝දැන් එක් අතක ඇඟිලි මිට මොළවා අනෙක් අතේ අල්ලට පහර දෙමින් දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව "ඔව් මට පුළුවන්" යැයි හඞනඟා කියන්න. ඔබගේ හඞ ආත්ම විශ්වාසය පළ කරන්නක් විය යුතුයි. 

📝මෙම අභ්‍යාසය දිනකට දස වාසරය බැගින් සතියක් එක දිගට කරන්න. 

📝මෙම සතිය තුළ ඔබගේ යටි සිත ඔබගේ ඇබ්බැහිවූ චර්යාවෙන් මිදීමට අවශ්‍ය ශක්තීන් එක් කර ගනු ඇත. එසේම ඔබ ටිකෙන් ටික අදාළ චර්යාවෙන් ඈත්වන අතර ඔබගේ ආත්ම විශ්වාසය ද ඉහළ යයි.

ඇබ්බැහිවීමකින් මිදෙන්න ක්‍රියා කරන මුල් කාලය ඉතා අපහසුයි. ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් සහ ආත්ම විශ්වාසයක් අවශ්‍යයි. මේවා මුදලට ගැනීමට අවශ්‍ය නැති පහසුවෙන් තමන් තුළ ඇති කර ගත හැකි දේවල් නිසා ඕනෑම අයෙකුට සිය ඇබ්බැහිවීම්වලින් මිදෙන්න පුළුවන්. 

එමෙන්ම විශ්වාසවන්ත කල්‍යාණ මිත්‍රයෙකු සිටීමද ඉතා වැදගත්. ඔබ ඇබ්බැහිවීමෙන් මිදීමට ගන්නා උත්සාහයන් ඔබේ සාර්ථකත්වය හා අසාර්ථකත්වයන් ඔහු හෝ ඇය සමඟ සාකච්ඡා කරන්න. හොඳින් මතක තබා ගන්න ඔබ ඒ සඳහා තෝරා ගත යුත්තේ කල්‍යාණ මිත්‍රයෙකු බව.

*තොරතුරුවල වගකීම සහ අයිතිය ලේඛකයා සතුයි.