ඵලදායී කාලසටහනක් සකස් කර ගන්නේ කොහොම ද?

ඵලදායී කාල සටහනක් සැකසීමේ දී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු මොනවා ද? 



😀නිවැරදි කාලසටහනක් යනු සාර්ථකත්වයේ පළමු පියවරයි. සතුටින් පිරුණු ජීවිතයක සැලැස්මයි. 

🎯1. තමන්ගේ කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික සහ සමාජීය යහපැවැත්ම උදෙසා කාලය වෙන් කිරීම අනිවාර්යය. එය නොමැතිව සකසන කාල සටහන් කිසිවිටෙකත් ඵදායී නොවේ. වගා කිරීමට පෙර බිම සැකසීම අත්‍යාවශ්‍යය. ඔබගේ අභ්‍යන්තරය සහ බාහිර පරිසරය සකසා නොගෙන පාඩම් කිරීමට සූදානම් වීම සකසා නැති පුරන් වූ ඉඩමකට ඔහේ වී වපුරනවා වගේ. මොනවා කළත් පැළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කරුණ නොසළකා හැරියොත් ඔබගේ පාඩම් කිරීමත් කවදාවත් ඵල ලබා දෙන්නේ නැත.

🎯2. කාලසටහනකට වැඩ කරනවා කියන්නේ පුරුද්දක්. අලුතින් කාලසටහනක් හදන කෙනෙක් කිසිදාය ඒකට පුරුදු වෙලා නැහැ. ඒක නිසා කාලසටහනක් හදපු පමණින් ඒකට අනුව වැඩ කරන්න බැහැ. පළවෙනි දවසේදී සම්පූර්ණයෙන් කාලසටහනට අනුව වැඩ කරන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් දිනපතා ඒ සඳහා උතස්සාහ කිරීමෙන් පමණයි කාලසටහනකට අනුව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. එක දවසක් බැරි වුණා කියලා කවදාවත් අතහරින්න එපා.

🎯3.  කාලසටහනක් තුළ තමන්ගේ පැය 24ම සැලසුම් විය යුතුයි.

🎯4. ඉගෙන ගන්නා කෙනෙක් විදිහට නිදා ගැනීමට අනිවාර්යයයෙන් පැය 6ක් හෝ 7ක කාලයක් වෙන් කළ යුතුමයි. 

🎯5. කාලසටහනක් සැකසීමට පෙර මුලින්ම තමන්ගේ පුරුදු ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒක නිසා ඵළමුව මෙම ක්‍රියාකාරකමේ නිරතවන්න.

💡අ. ඔබ සාමාන්‍යායෙන් දවස ගත කරන ආකාරය ලියන්න. හැම පැයකම කරන දේවල් ලියන්න. අවදිවූ මෙහොතේ සිට නිදා ගැනීම දක්වා. උදා. අවදිවූ සැණින් තේ බීම. මුහුණ සේදීම. පාම් කිරිමට ඉඳ ගැනීම.... සවස බුදුන් වැඳීම.... නිදා ගැනීමට පෙර ෆෝන් එක බැලීම.

💡ආ. දැන් පාට දෙකකින් හයිලයිටර් දෙකක් ගන්න. ඔබ කරන දේවල් වල හොඳයි යැයි ඔබ සිතනා පුරුදු එක් පාටකකින් ද ඔබට අයහපතක් කරනා පුරුදු තවත් පාටකින් ද සලකුණු කරන්න. යහපත් හෝ අයහපත් යැයි සිත ගත නොහැකි කරුණු හයිලයිට් නොකර තබන්න. (ඒ ගැන මා සමඟ සාකච්ඡා කරන්න).

💡ඇ. ඔබගේ හොඳ පුරුදු සහ අයහපත් පුරුදු පිළිබඳ හොඳින් කියවන්න.

💡ඈ. දැන් ඔබගේ කාලසටහනට ඇතුළත් විය යුතු හොඳ පුරුදු සහ පවතින අයහපත් පුරුදු වෙනස් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් වෙන වෙනම ලියන්න.

💡ඈ. ඔබගේ අයහපත් පුරුදු සඳහා හේතුත් ලියන්න. එවිට එම පුරුදු වළක්වා ගැනීමට ගත හැකි පියවරයන් ඉතා පහසුවෙන් හඳුනාගත හැකියි. 


💁‍♀️ දැන් ඔබට අවබෝධයක් ඇති ඔබේ යහපත් හා අයහපත් පුරුදු ගැන. දැන් ඉතින් යහපත් පුරුදු පවත්වා ගන්නත්, අයහපත් පුරුදු අතහැර ගන්නත්, නැති හොඳ පුරුදු ඇති කර ගන්නත් පුළුවන් විදිහට කාලසටහන හදන්න ඕනිමයි.

💡කාල සටහන කියන්නේ අර පන්තියේ විෂයන් ටික දාලා එල්ලා තියෙන එක නෙමෙයි. එහෙම කාලසටහනක් ඔයාට පාඩම් වැඩ කරන්න හදලා වැඩක් නෑ.

💡ඔයා හදන් ඕනි දිනපතා ඉලක්කයකට වැඩ කරන්න පුළුවන් කාලසටහනක්. ඒ කාලසටහනේ දවසේ පැය 24ම සැලසුම් වෙන්න ඕනි. ඔයා කරන හැම වැඩක්ම පියවරෙන් පියවර සටහන් කරන්න ඕනි.

💡ඉතින් ඒකට ඔයා දැන් සාමාන්‍යයෙන් දිනපතා කරන හැම වැඩක්ම ලැයිස්තුවක් හදන්න (To-Do List). උදේ නැගිටින වෙලේ ඉඳන් වතුර බොන එක දක්වාම ඔයා ලියන්න ඕනි.

💡ඒ වගේම පාසල් යන වේලාවල්, අමතර පන්ති යන්න තියෙන වෙලාවල් සහ පාසලේ පන්තියේ දීපු ගෙදරවැඩ කරන්න තියෙන ඒවත් ලැයිස්තුවක් හදන්න.

💡ගෙදරවැඩ ලැයිස්තුවේ ඒවා කරලා ඉවර කරන්න ඕනි දවස ලියන්න. මේ දවසට කියන්නේ Due date නැත්නම් Dead line කියලා. වැඩ කල් දාන්නේ නැතුව හොඳට කරන්න වැඩේ අවසන් කළ යුතු දවස දවසක් කලින් සටහන් කරන්න. උදාහරණයක් විදිහට ඔයාට ගෙදර වැඩක් ඉවර කරන්න තියෙන්නේ ජූලි 30 නම් ඒක ජූලි 29 කියලා ලියන්න. 

💡කාලසටහනක් දිනපතා සකස් කරන්න ඕනි. ඔයාට පුළුවන් ඒකට පොතක් තියා ගන්න. ඒ පොතට කවරයක් එහෙම දාලා සැලසුම් පොත (Planning book) කියලා ලියන්න.

💡ඕනම දෙයක් සාර්ථක වෙන්නේ සැලසුමක් තිබ්බොත් විතරයි. ඒ වගේම ඒ සැලසුම තුළ ක්‍රියාත්මක කළ හැකි කුඩා පියවරයන් තමා තියෙන්න ඕනි. උදාහරණයක් විදිහට අපි ‘විද්‍යාව’ කියලා ලියන්නේ නැහැ. විද්‍යාව, 1 පාඩම, පළවෙනි කොටස (ඒ කොටසේ නම ලියන්න) ඒවගේම ඒ කොටසට පිටු කීයක් තියෙනවාද කියලා ලියන්න. මේ විදිහටයි වඩාත් කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් ඉලක්කගත කාලසටහනක් හදන්නේ. 

💡හොඳට මතක තියා ගන්න කාලසටහනක් කියන්නේ කුඩා කුඩා නිශ්චිත පියවරයන් සහිත ක්‍රියාකාරී සැලැස්මක්. ඒ සැලැස්ම හදන්න ඕනි වැඩකරන්න පෙළඹවීමක් ඇතිවෙන විදිහට. ඒ ඒ පැයේ දී තමන් ලබන ප්‍රතිඵලය ගැන අවබෝධයක් එන විදිහට. මම කලින් කිව්ව විද්‍යාව පාඩමේ උපදාහරණය ගත්තොත් ඒ විදිහට ලියුවාම ඔයා අනිවාර්යයනේ දන්නවා එදා දවසේ ඔයා විද්‍යාව විෂයෙන් ඉගෙන ගන්නේ මොනවාද කියලා. එතකොට මොළේට ලේසියෙන් ඔයාව ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

💡දැන් මේ කියපු විදිහට තමන්ගේ වැඩ ලැයිස්තුව හදන්න. එහි පහත කොටස් තියෙනවාද බලන්න.

📝දිනපතා පුද්ගලික පිරිසඳුබව පවත්වා ගැනීම.

📝ආහාර ගැනීම සහ වතුර පානය.

📝ව්‍යායාම කිරීම.

📝පවුලේ අය සමඟ ආදරනීය වෙලාවක් ගත කිරීම, දෙමාපියන්ට උදව් කිරීම.

- 📝පරිසරය සමඟ කාලය ගත කිරීම.

📝තමන් කැමති වැඩසටහනක් නැරඹීම (උපරිම මිනිත්තු 30යි)

📝විවේකීයව සිටීම

📝පාසල් යාම

📝පන්ති යාම

📝ගෙදරදී කිරීමට දෙන වැඩ

📝පාඩම් කිරීම

📝නින්දදට පෙර භාවනා කිරීම

📝නින්දට පෙර සිහින දැකීමේ කාලය (vision time) මේක බොහෝම වැදගත් දෙයක්. මන් ඉස්සරහට කියලා දෙනවා

🎯අද මේ ටික කරන්න. කරන්න ඕනි ඉතිරි ටික හෙට කියන්නම්. ඕනම විෂයක වැඩ ටික ටික කරන්න ඕනි. ටිකෙන් ටික හදන පදනම තමා වැඩියෙන් ශක්තිමත් වෙන්නේ. ඒක මතක තියා ගන්න. හදිසි වෙන්න එපා. මේ කියන දේවල් හිමිහිට හැබැයි අදම කරන්න. 

🎯ඔයා ඇත්තටම ස්මාට් නම් අදම කරනවා. ඔයා කම්මැලියෙක් නම් පස්සට කල් දානවා.

🎯ස්මාට් වෙන්න දැන්ම කොළයක් හෝ පොතක් හෝ අරන් වැඩේ පටන් ගන්න.


මේ කියන කරුණු දේවල් මනෝවිද්‍යාත්මක පදනක් ඇතුවයි පැහැදිලි කරන්නේ. සමහර අය ඔබට විවිධ දේවල් කියලා ඇති. ඒක නිසා මේ කියන දේවල් අමුතුයි වගේ හිතෙයි. ඒත් මේ ඉගෙන ගන්න විදිහ ඉගෙන ගත්ත කෙනෙක් විදිහටයි මම මේ දේවල් කියන්නේ. ඒක නිසා අනිවාර්යයෙන් මේ දේවල් පිළිපදින්න.

😃 අපි හිතමු ඔයාට පාසල් වැඩ පන්ති වැඩ කළාම පැය 4ක් දවසට පාඩම් කරන්න තියෙනවා කියලා.

💙විෂයන් කිහිපයක් පාඩම් කරන්න යොදා ගන්න. විෂයන් 3ක් නම් හොඳයි. පැය 4ක් තියෙන නිසා 4ක් වුණත්කමක් නැහැ.

💙එක විෂයකට පැයක් වෙන් කරන්න.

👉 එකම විෂයක් පාඩම් කරන්න එපා. මොළය 🧠 කැමතියි විවිධතාවයට. එකම දෙයක් ගැන දිගටම බලන කොට මොළේට එපා වෙනවා. ඔයා පැය ගාණක් එකම විෂය පාඩම් කළත් මතකයට යන්නේ බොහෝම පොඩි කොටසක් විතරයි. 

ඒත් විෂයන් කිහිපයක් බලන කොට මොළේ තාර්කික ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. එතකොට පාඩම් 4මෙ කරුණු හොඳින් මතකයට යනවා.

💙 විෂයේ නම විතරක් කාලසටහනේ ලියන්නේ නැහැ. විෂය, පාඩම සහ ඒ පාඩමේත් පාඩම් කරන නිශ්චිත කොටස සඳහන් කරන්න ඕනි. 

උදා: විෂය - ඉතිහාසය, පාඩම - මූලාශ්‍ර, කොටස - මහාවංශය (පිටු අංක 4 සිට 6 දක්වා).

💙 හදිසි වෙන්න එපා. කිසිම වෙලාවක සම්පූර්ණ පාඩමම කියවන්න යන්න එපා. ටිකෙන් ටික කියවන්න. අනිවාර්යයනේ වැදගත් කරුණු හයිලයිට් කරන්න. නැතිනම් ඒ වෙලාවේම කෙටි සටහන් ගහන්න. 

💙 පාඩම් කරන කාලසටහන දිනපතා හදන්න ඕනි. හෙට කාලසටහන අද රෑට හදලා බලලා නිදා ගන්න. 


ප්‍රාර්ථනා ද මෙල්

Youth Coach

සහකාර අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ පුහුණු)

සරසවි මිතුරෝ